විරෝධතා මර්ධනය ගැන ඒකාබද්ධ නිවේදනයක්

පසුගිය ජූලි 22 වැනි දින ශ්‍රී ලංකා හමුදාව, පොලිසිය සහ විශේෂ බලකායේ ඒකාබද්ධ මෙහෙයුමේදී අවම වශයෙන් මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දී තිබෙන බව හියුමන් රයිට් වොච් ආයතනය අනාවරණය කරනවා.

එමෙන්ම මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍යවල තොරතුරු පළ කරන අය අත්අඩංගුවට ගෙන, ප්‍රශ්න කර, ඔවුන්ගේ වැඩ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු පවරා තිබෙන බවයි හියුමන් රයිට් වොච් අනාවරණය කළේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව හා මාධ්‍යවේදීන්ට එරෙහිව ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රචණ්ඩකාරී මර්දනය සහ පලිගැනීම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් විසින් හෙළාදැක තිබෙනවා.

විරෝධතා වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් බලධාරීන්ගේ ඉලක්කයට ලක්ව ඇති බවට පළවන වාර්තා පිළිබඳව ද තම සංවිධාන දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඔවුන්ට ප්‍රශ්න කරමින් ආරක්ෂක දර්ශන බැලීමට ඉල්ලා සිටි බව ද වාර්තා වනවා.

විරෝධතා නිරීක්‍ෂණයට හෝ වාර්තා කිරීමට සම්බන්ධ මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් අයට ICCPR යටතේ ආරක්‍ෂාව හිම වන බවයි හියුමන් රයිට් වොච් පෙන්වා දෙන්නේ.

අදාළ ඒකාබද්ධ නිවේදනයට අත්සන් කර ඇති මානව හිමිකම් සංවිධාන පහත පරිදි වනවා.

01) Amnesty International / ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
02) Asian Forum for Human Rights and Development (FORUM-ASIA) / මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA)
03) CIVICUS
04) FIDH-International Federation for Human Rights / FIDH-මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය
05) Franciscans International
06) Front Line Defenders / ඉදිරි පෙළ ආරක්ෂකයින්
07) Human Rights Watch / හියුමන් රයිට්ස් වොච්
08) International Commission of Jurists / ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම
09) International Movement Against All Forms of Discrimination and Racism (IMADR) / සියලු ආකාර වෙනස් කොට සැලකීම් සහ වර්ගවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය (IMADR)
10) International Service for Human Rights / මානව හිමිකම් සඳහා ජාත්‍යන්තර සේවය
11) Sri Lanka Campaign / ශ්‍රී ලංකා ව්‍යාපාරය
12) The International Working Group on Sri Lanka / ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම
13) World Organisation Against Torture (OMCT) / වධහිංසාවට එරෙහි ලෝක සංවිධානය (OMCT)

සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව හා මාධ්‍යවේදීන්ට එරෙහිව ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රචණ්ඩකාරී මර්දනයට 2022 ජුලි 22 වැනි දින කොළඹ අරගල භූමියේදී අත්අඩංගුවට ගැනීම්, බිය ගැන්වීම් සහ ම්ලේච්ඡ ප්‍රහාරය ඇතුළත් බවයි ඔවුන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ.

ආරක්‍ෂක අංශ ඕනෑවට වඩා බලය පාවිච්චි නොකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් වග බලා ගත යුතු අතර අරගල භූමියේ සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරනු ඇතැයි අපෙක්ෂා කරන බවද අදාළ සංවිධාන අවධාරණය කර තිබෙනවා.

Related posts

Leave a Comment