සුව සැරියට පණ දිය යුතු බව හර්ෂ කියයි

රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය පවත්වාගෙන යාම අසීරු වී ඇතැයි මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ මුදල් නොමැතිකමින් බවයි ඔහු සඳහන් කළේ. ඊට ප්‍රතිචාර වශයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන බවයි.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනයට පියවර

මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2005 වර්ෂයේදී සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට වසර 15 කට ආසන්න කාලයක් ගත වී ඇති බව සඳහන්. ඒ අනුව එය වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව රජය පවසනවා. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරනු ලබන කමිටුවක් මගින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (21) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

ධනුෂ්කට ඇප

ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැර තිබෙනවා.

මධ්‍යම චීනයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

මධ්‍යම චීනයේ, හෙනාන් පළාතේ අන්යාංග් නගරයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නට හේතුව අනාවරණය වී නැති නමුත්, එය විදුලි කාන්දුවක් නිසා සිදුවූවක් යැයි සැක කෙරෙන බවයි වාර්තා වන්නේ ගින්නට සේවකයෝ 36 දෙනෙක් බිලි වූ බව වාර්තා වනවා. තුවාල ලබා දිවි බේරාගත් ගණන දෙදෙනෙකි. තවත් දෙදෙනෙකු අතුරුදන් බවත් වාර්තා වනවා.

පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීම ගුරුවරුන්ට අදාළ නොවන බවට අනාවරණයක්

කොරෝනා සමයේ රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට නිකුත් කළ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ, එය සංශෝධනය කරන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්ට උපදෙස් දුන් බවයි.

“රටේ සම්පත් විකිණීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය නොවෙයි” මහින්ද කියයි

අය-වැය විවේචනය කිරීමෙන් සහ අයවැයට විරුද්ධව ජනතාව උසි ගැන්වීමෙන් මේ රටට කිසිම පලක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා. ඔහු මේ බව සඳහන් කළේ, අද පාර්ලිමේන්තුවේදී අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයට එක වෙමින්. කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් හොඳ තල්ලුවක්දී ඇතැයි ද ඔහු කියා සිටියා. එමෙන්ම කුමන ආර්ථික තත්වය යටතේ වුවත් රටේ සම්පත් විකිණීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බවත් ඔහු ප්‍රකාශ කළා.

Page 1 of 3
1 2 3