ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පනයේ සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු බේරා ගනී

ඉන්දුනීසියාවේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයත් සමඟ කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා. දින දෙකක් සුන්බුන් අතර මෙම දරුවා සිට ඇති බවටයි වාර්තා වන්නේ. සුන්බුන් අතර සිරවීමෙන් එම දරුවාගේ මව මියගොස් ඇති අතර ඇයගේ සිරුර ආසන්නයේ නිරුපද්‍රිතව සිටි දරුවා සහන සේවකයින්ට නිරීක්ෂණය වී තිබුණා. සුන්බුන් අතර සිරව ආහාර හෝ ජලය නොමැතිව දින දෙකක කාලයක් රැඳී සිටි 5හැවිරිදි දරුවාට මේ වනවිට හදිසි ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව වාර්තා වනවා.

දුමින්දට දුන් සමාව ගැන කියන්න ගෝඨාභය ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව දෙසැම්බර් මස 16 වන දා කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද නොතීසි නිකුත් කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කළ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අදාලවයි පෙත්සම ගොනු කර ඇත්තේ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට මරණීය දණ්ඩනය නියම වී තිබුණා.

විදුලිය කැපීමට ගිය සේවකයින්ට හිටපු අමාත්‍යවරයෙකුගෙන් දරුණු ප්‍රතිචාර

හිටපු අමාත්‍යවරයෙකුගේ කොළඹ 7 පිහිටි නිවසේ විදුලිය විසන්දි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දමා ඇති පුවතක් වාර්තා වනවා. එම නිවසේ විදුලි බිලේ විශාල හිඟ මුදල පිළිබඳව කීපවරක් දැනුවත් කිරීමෙන් පසුව බිල නොගෙවීම නිසා විදුලිය විසන්දි කිරීමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ මේ සම්බන්ධයෙන් වාහාම පරීක්‍ෂණයක් ආරම්භ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ශ්‍රී ලංකාව හිඟා කන රටක් බවට පත් නොකරන බව ජනපති කියයි

ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ඊයේ (23) එක් වෙමින්. මෙවර අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියා. එමෙන්ම ශ්‍රී ලාංකියින් ලෙස අප ස්ව උත්සාහයෙන් නැගීසිටිය යුතු බවත් ඔහු පැහැදිලි කළා. පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි විශ්වවිද්‍යාලයක් ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් ඉදිරියේදී මෙරට ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල සියයට 4කින් පමණ පහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.69 දක්වා අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එසේම එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.39ක් දක්වා අඩුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ G7 කණ්ඩායම විසින් රුසියානු බොරතෙල් සඳහා උපරිම මිලක් නියම කිරීමට සැලසුම්කිරීම හේතුවෙන් මෙම මිල පහළයාම සිදුව ඇති බවයි.

කබ්රාල්ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මස 15 වනදා දක්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දීර්ඝ කරන ඇති බව වාර්තා වනවා. 2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි චෝදනාව මත ඔහුට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

Page 3 of 5
1 2 3 4 5