විදුලිය කප්පාදු කරන කාලය දීර්ඝ කෙරේ

නොවැම්බර් මස 28 සහ 29 වනදා පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසර හිමිව තිබෙනවා. ඒ අනුව දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වය අත්හරී

තායිවාන ජනාධිපතිනි සායි ඉං වෙන්, පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තායිවානයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂය පහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම හේතුවෙන් ජනාධිපතිනිය එම තීරණය ගෙන ඇති බවයි. එරට ප්‍රධාන වීපක්ෂය වන ක්වෝමින්ටැන්ග් පක්ෂය තායිපේ අගනුවර ඇතුළුව ප්‍රධාන නගර කිහිපයක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනාවා.

ආගමික ස්ථාන සඳහා වූ විදුලි බිලේ සහනය ගැන ජනක කියයි

විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිලට දුන් සහනය මේ වන විට ක්‍රියාත්මක වන බවත් එ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) සඳහන් කළා. කිසිඳු ආගමික ස්ථානයක් නම් කර සහන ලබාදෙන්නේ යැයි තමන් ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළ ද ආගමික ස්ථානවලට සහන මේ වන විට ලැබෙන බව ඔහු කියා සිටියා.

එළඹෙන සාමාන්‍ය පෙළ විභාගය ගැන නිවේදනයක්

2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන අප්‍රේල් මස අග හෝ මැයි මස මුල දී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

කොට්ටාවේ බස් ගැටුමක්

කොට්ටාව නගර මධ්‍යයේදී පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරු අතර සිදුවූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත්ත ව ඇතැයි කොට්ටාව පොලීසිය පවසනවා. බරපතළ තුවාල ලද බස්රථ රියදුරෙකු සහ කොන්දොස්තරවරුන් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මාර්ග අංක 138 කොට්ටාව පිටකොටුව බස් රථ දෙකක රියදුරන් දෙදෙනෙක් සහ කොන්දොස්තරවරුන් දෙදෙනෙක් අතින් පයින් හා වීදුරු බෝතල්වලින් මෙලෙස ගුටිබැට හුවමාරු කරගෙන ඇතැයි පොලීසිය පවසනවා.

බදුල්ලේ පියෙකු පුතු විසින් ඝාතනය කරයි

බදුල්ල වේවැස්වත්ත ප්‍රදේශයේදී 34 හැවිරිදි පුතෙකු මුගුරකින් පහරදී සිය 60 හැවිරිදි පියා ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල වේවැස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. ඝාතනය සිදුකළ සැකකාර පුතා මානසික ආබාධයකින් පෙළෙන ගොළු පුද්ගලයෙකු බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Page 1 of 5
1 2 3 5