චීනය විසින් පරිත්‍යාග කළ සහල් ගොඩබෑම් කටයුතු අද අවසන්

චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 1,000ක් රැගෙන ඊයේ (27) කොළඹ වරායට පැමිණි නෟකාවේ ගොඩබෑම් කටයුතු අද (28) අවසන් කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. එම සහල් මෙරට සිසුන් සඳහා බෙදාහැරීමට චීනය විසින් පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම ජූනි මාසයේ සිට මේ දක්වා චීනය විසින් මෙරට සිසුන් සඳහා සහල් මෙට්‍රික් ටොන් 8,000ක් ලබා දී ඇති බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගැටුමේ 6ක් රිමාන්ඩ්

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 6දෙනෙකු එළඹෙන 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. සැකකාර සිසුන් අද ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 7දෙනා අතරින් එක් සිසුවෙකු ඇපමත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් 12 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබෙනවා.

හිතවත් කමට දුන් බස් ධාවන බලපත්‍ර

ජාතික ගමනාගමන කොමිසමේ ප්‍රධානියකුගේ මැදිහත්වීමෙන් දුර ගමන් සේවා තාවකාලික බස් රථ බලපත්‍ර 100 කට අධික සංඛ්‍යාවක් නිකුත්කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. උත්සව සමයේදී සහ විශේෂ අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීමට අැති තාවකාලික බස් රථ ගමන් බලපත්‍ර මෙසේ එම ප්‍රධානියා හිතවතුන්ට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. වසර ගණනාවක සිට නීත්‍යානුකූලව බස් රථ බලපත්‍ර ඉල්ලා ඇති බස් රථ හිමියන්ට බලපත්‍ර නිකුත් කර නැති බවට ප්‍රවාහන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බව සඳහන්. ජාතික ගමනාගමන කොමිසම නිකුත් කර ඇති මෙම තාවකාලික බස්රථ ධාවන බලපත්‍ර පිළිබඳව ඉදිරියේ දී කටයුතු කිරීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

උසස්පෙළ සිසුන්ට දැනුම්දීමක්

2023 වර්ෂයේ සිට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

කෘෂිකාර්මික වැඩවලටත් හෙට සිට භූමිතෙල්

ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වලට ඉදිරි දින තුන ඇතුළත භුමිතෙල් නිකුත් කිරීම නියමිත බව බව ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති තෙන්නකොන් මහතා පවසනවා. නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසුව නොවැම්බර් 23 සිට නොවැම්බර් 27 දක්වා බවුසර් 229ක් ධීවරයින් හා ගොවීන් වෙත නිකුත් කර ඇති බව සඳහන්. එමෙන්ම මේ වන විට 2022 නොවැම්බර් 1 වනදා සිට 19 වනදා දක්වා දිනකට භුමිතෙල් බවුසර් 29 බැගින් බෙදාහැර තිබෙනවා.

තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

මට්ටක්කුලිය, මැද පාර ප්‍රදේශයේ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 38ක පිරිමි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි. ඔහු මෝටර් රථයකින් බැසීමේ දී පිටුපසින් තවත් මෝටර් රථයක පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. බරපතල තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තවමත් අනාවරණය වී නොමැති බව සඳහන්.

Page 1 of 5
1 2 3 5