යාපනයේ විරෝධතාවයක්

යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පැවැත්වූ විරෝධතාවයකට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ සිට පාගමින් විරෝධතාකරුවන් නල්ලූර් ප්‍රදේශයට යෑමට උත්සාහ දරා ඇති අවස්ථාවේදී මෙසේ ජල ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්. තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද යාපනයට ගොස් සිටිනවා. අප වාර්තාකරු පැවසුවේ, මේ වනවිට විරෝධතාකරුවන් විසිර ගොස් ඇති අතර පොලීසිය විසින් තත්ත්වය පාලනය කර ඇති බවයි.

ශ්‍රී ලංකාවට 391ක ඉලක්කයක්

ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගයේ කාසිය වාසිය දිනා පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 390 රැස් කිරමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 391ක ඉලක්කයක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දවා ගනු ලැබුවා. තරගය අතරතුර අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ අනතුරට ලක්වුණා. ඔවුන් ප්‍රතිකාර සඳහා පිටියෙන් රැගෙන යාමට කටයුතු කළා.

අවසන් තරගය අතරතුර අශේන් සහ වැන්ඩසේ අනතුරට

ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය අතරතුර අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ අනතුරට ලක්වුණා. හතරේ සීමාවට යන පන්දුවක් වැළැක්වීමට ගිය අවස්ථාවේදී දෙදෙනා එකට හැපී මෙමෙ අනතුර සිදු වුණා. දෙදෙනාම ප්‍රතිකාර සඳහා පිටියෙන් එළියට රැගෙන ගියා.

ජල බිල්පත් ලබාදීම සහ ගෙවීමට නව ක්‍රමවේදයක්

ජල බිල්පත් ලබාදීම සහ ගෙවීම සිදුකිරීම නව ක්‍රමවේදයක් හරහා හඳුන්වා දීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා . එය ලබන 17 වනදා යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව එම මණ්ඩලයේ සාමානාධිකාරී පියල් පද්මනාත මහතා සඳහන් කළා. බිල්පත් නිකුත් කිරීමේ යන්ත්‍රයක් මගින් මාසික බිල්පත පාරිභෝගිකයින්ට ලබා දී බැංකු කාඩ්පත් මගින් එම බිල්පත ගෙවීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසාදීම මෙමගින් සිදුවන බව ඔහු සඳහන්. නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දී තිබුණා.

මෙක්සිකෝවේ දුම්පානය තහනම් කෙරේ

මෙක්සිකෝව පොදු ස්ථානවල දුම්පානය කිරීම තහනම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙක්සිකෝව පොදු ස්ථානවල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කරමින් ලොව දැඩි දුම්කොළ විරෝධී නීතියක් බලාත්මක කර ඇති බවයි. ඒ අනුව මෙක්සිකෝවේ උද්‍යාන, වෙරළ, හෝටල්, කාර්යාල සහ අවහන්වල දුම්පානය සම්පූර්ණයෙන් මේ වන විට තහනම්. මීට පෙර එම නීතිය එරට ආපනශාලා සහ සේවා ස්ථානවලට පමණක් ක්‍රියාත්මක කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. නව නීතියත් සමඟ දුම්කොළ නිෂ්පාදන ප්‍රචාරණය, ප්‍රවර්ධනය සහ අනුග්‍රහය දැක්වීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා. ඒ අනුව සාප්පු තුළ සිගරට් ප්‍රදර්ශනය කිරීමට පවා නොහැකි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අනුව…

ජනපති යාපනයට

තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගී වීම සඳහා යාපනයට ගොස් සිටින ජනාධිපතිවරයා අද පෙරවරුවේ යාපනය ශ්‍රී නාගවිහාරය වෙත ගොස් මහා සංඝරත්නය බැහැදැක තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා ආගමික වතාවත්වල ද නිරතවී ආශිර්වාද ලබාගෙන ඇති බව වාර්තා වනවා. පුදබිම වෙත ගිය ජනාධිපතිවරයා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී අනතුරුව යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමියෝ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසාමින් පිළිසඳරක නිරතව ඇති බව සඳහන්.

Page 1 of 5
1 2 3 5