බහුදින ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදාව භාරයට

නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙකක් සමඟ සැකකරුවන් දසදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (16) කොළඹ වරායට ගෙන ඒමට කටයුතු කළා.

උ/ පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් අ.පො.ස උසස් පෙළ සඳහා විෂය ධාරා අනුව පාසල් වලට ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මේ සඳහා චක්‍රලේඛන මගින් පාසල්වලට අවසර ලබා දී ඇති බවයි. ඒ අනුව තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව පවතින පාසලක් ලබා ගැනීමට එම ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් කටයුතු කළ යුතු බව සඳහන්.

විශ්වවිද්‍යාවලට ඇතුළත් වන නවක සිසුන්ට ලිඛිත දිවුරුමක්

මෙවර සිට විශ්වවිද්‍යාවලට ඇතුළත් වන සියලුම සිසුන්ගෙන් ලිඛිත දිවුරුමක් ලබා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. නවක වධයට සම්බන්ධ නොවන බවට වගකීමෙන් බැඳෙන ලෙසයි එම දිවුරුම ගනු ලබන්නේ. ඒ අනුව ලිඛිත දිවුරුම සිසුන්ගෙන් ගන්නා ලෙස සියලුම උපකුලපතිවරුන්ට මේ වන විට දැනුම් දෙනු ඇති බව සඳහන්. නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ආයතන ද සම්බන්ධ කර ගනිමින් මෙම දිවුරුම සකස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවට අධිකරණ නියෝග

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් ගාලු මුවදොරට ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ විරෝධතාකරුවන්ට ලිප්ටන් වටරවුමේ සිට යුනියන් පෙදෙස හරහා ගාලුමුවදොරට ඇතුළු වීම වළක්වාලමින් පොලිසිය කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්. කෙසේවෙතත් එම නියෝගයෙන් සාමකාමීව විරෝධතාවයේ නිරත වීමට අවසර ලබා දී තිබෙන බවයිවාර්තා වන්නේ. මේ වනවිට පැවැත්වෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී දෙදෙනෙකු මරුට

දඹදෙණිය, උදියාවල ප්‍රදේශයේදී ඊයේ (15)රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, තියුණු ආයුධවලින් පහරදී ඝාතනය සිදුකර ඇති බවයි. මියගිය පුද්ගලයින් අවුරුදු 39 සහ 41 යන වයස්වල පසුවන දඹදෙණියේ පදිංචිකරුවන්. ඒ, අතර පොලිස් විශේෂ කාර්ය බලකා(STF) සැරයන්වරයෙකු ද ඇති බව වාර්තා වනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පිලියන්දල වෙඩි තැබීමක්

පිලියන්දල, හොරණ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රි 12.30ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් ඔහුගේ ගෙල ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවයි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, 36 හැවිරිදි පුද්ගලයෙක්. ප්‍රතිකාර සඳහා ඔහු හොරණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

Page 1 of 4
1 2 3 4