අද වැසි සහිත කාලගුණයක්

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසානවා. එමෙන්ම බස්නාහිර පළාතේත් නුවර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

චීනය විසින් පරිත්‍යාග කළ සහල් ගොඩබෑම් කටයුතු අද අවසන්

චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 1,000ක් රැගෙන ඊයේ (27) කොළඹ වරායට පැමිණි නෟකාවේ ගොඩබෑම් කටයුතු අද (28) අවසන් කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. එම සහල් මෙරට සිසුන් සඳහා බෙදාහැරීමට චීනය විසින් පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම ජූනි මාසයේ සිට මේ දක්වා චීනය විසින් මෙරට සිසුන් සඳහා සහල් මෙට්‍රික් ටොන් 8,000ක් ලබා දී ඇති බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගැටුමේ 6ක් රිමාන්ඩ්

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 6දෙනෙකු එළඹෙන 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. සැකකාර සිසුන් අද ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 7දෙනා අතරින් එක් සිසුවෙකු ඇපමත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් 12 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබෙනවා.

හිතවත් කමට දුන් බස් ධාවන බලපත්‍ර

ජාතික ගමනාගමන කොමිසමේ ප්‍රධානියකුගේ මැදිහත්වීමෙන් දුර ගමන් සේවා තාවකාලික බස් රථ බලපත්‍ර 100 කට අධික සංඛ්‍යාවක් නිකුත්කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. උත්සව සමයේදී සහ විශේෂ අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීමට අැති තාවකාලික බස් රථ ගමන් බලපත්‍ර මෙසේ එම ප්‍රධානියා හිතවතුන්ට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. වසර ගණනාවක සිට නීත්‍යානුකූලව බස් රථ බලපත්‍ර ඉල්ලා ඇති බස් රථ හිමියන්ට බලපත්‍ර නිකුත් කර නැති බවට ප්‍රවාහන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බව සඳහන්. ජාතික ගමනාගමන කොමිසම නිකුත් කර ඇති මෙම තාවකාලික බස්රථ ධාවන බලපත්‍ර පිළිබඳව ඉදිරියේ දී කටයුතු කිරීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

උසස්පෙළ සිසුන්ට දැනුම්දීමක්

2023 වර්ෂයේ සිට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

කෘෂිකාර්මික වැඩවලටත් හෙට සිට භූමිතෙල්

ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වලට ඉදිරි දින තුන ඇතුළත භුමිතෙල් නිකුත් කිරීම නියමිත බව බව ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති තෙන්නකොන් මහතා පවසනවා. නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසුව නොවැම්බර් 23 සිට නොවැම්බර් 27 දක්වා බවුසර් 229ක් ධීවරයින් හා ගොවීන් වෙත නිකුත් කර ඇති බව සඳහන්. එමෙන්ම මේ වන විට 2022 නොවැම්බර් 1 වනදා සිට 19 වනදා දක්වා දිනකට භුමිතෙල් බවුසර් 29 බැගින් බෙදාහැර තිබෙනවා.

Page 2 of 782
1 2 3 4 782