උසස්පෙළ සිසුන්ට දැනුම්දීමක්

2023 වර්ෂයේ සිට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

මට්ටක්කුලිය, මැද පාර ප්‍රදේශයේ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 38ක පිරිමි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි. ඔහු මෝටර් රථයකින් බැසීමේ දී පිටුපසින් තවත් මෝටර් රථයක පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. බරපතල තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තවමත් අනාවරණය වී නොමැති බව සඳහන්.

‘9 වන කණ්ඩුල’ පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට

‘9 වන කණ්ඩුල’ ඇත් පැටවා සම්ප්‍රදායානුකූල මඟුල් බෙර වාදනය මධ්‍යයේ සුභ නැකතින් 2022 නොවැම්බර් 24 දින පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.  යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත පින්නවල අලි අනාථාගාරය සහ වනජීවී දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් යුතුව පවතින නීතිරීති වලට අනුකූලව නව ඇත් පැටවාගේ භාරකාරත්වය ශ්‍රී ලංකා පාබල හමුදාව ලබාගැනීමට හැකි වී ඇති අතර, දෙහිවල ජාතික සත්වෝද්‍යානය සමඟ එක්ව මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට හැකි වුණා.   ශ්‍රී ලංකා පාබල හමුදාවේ මංගල වස්තුව ලෙස සංකේතවත්…

පාසල් සිසුන්ට මත්පෙති අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට

පාසල් සිසුන් ඉලක්ක කරගෙන වව්නියාව ප්‍රදේශයේ මත්පෙති අලෙවි කරමින් සිටි සැකකරුවෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෙති 539ක් සමඟයි. සැකකරු වව්නියාව පුවරසන්කුලම් හිදී ඊයේ (27) අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව සඳහන්. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පුවරසන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

දීර්ඝතම විදුලි කප්පාදුවක් ගැන අනාවැකියක්

ප්‍රමාණවත් තරම් ගල් අඟුරු ලබන වසරේ අප්‍රේල් මස 15 වන දිනට පෙර නොලැබුණහොත් මෙතෙක් ඉතිහාසයේ සිදුවු දීර්ඝතම විදුලි කප්පාදුවට රට ලක්විය හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති, නිහාල් වීරරත්න මහතා පවසා සිටියේ, මේ වනවිට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් නැව් 38ක් අප රටට අවශ්‍ය වුවත් රටට ලැබී ඇත්තේ නැව් 4ක් පමණ බවයි. මේ දිනවල නොරොච්චෝලේ ජනන කටයුතු සඳහා ගල් අඟුරු ලැබෙමින් පවතින බව ද ඒ මහතාසඳහන් කළා.

කතරගම මැණික් ගඟ ගැන විශේෂ නිවේදනයක්

වෙහෙරගල ජලාශය ජලයෙන් පිරීයාම නිසා එහි වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘතකර තිබෙනවා. ඒ මැණික් ගඟේ ජලපෝෂක ප්‍රදේශ වලට මේ දින වල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්. එමඟින් තත්පරයට ඝනඅඩි එක්දහස් පන්සියයක පමණ ජල ප්‍රවාහයක් මුදාහැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පැවසුවේ. මෙම තත්ත්වය මත මැණික් ගඟේ පහළ කොටස ජලයෙන් පිරෙන බැවින් මැණික් ගඟ පරිහරණය කිරීමේදී සැලකිලිමත් වන ලෙස කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් එම දෙපාර්තෙම්න්තුව ඉල්ලා සිටිනවා.

Page 2 of 1679
1 2 3 4 1,679