ඉතාලියේ ජිවිත රැසක් බිලිගත් නාය යෑමක්

ඉතාලියේ නේප්ල්ස් නගරයට ආසන්න කලාපයක සිදුවූ නායයාමකින් පුද්ගලයින් රැසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේනමුත් සිදුවූ මරණ ගණන මෙතෙක් තහවුරු කර නැහැ. ඉතාලියේ ඉස්කියා දූපතට බලපෑ ප්‍රබල නායයාමකින් පුද්ගලයින් රැසක් අතුරුදන්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයාම හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර මෝටර් රථ රැසක්ද විනාශ වී ඇති බව වාර්තා වන්නේ. ස්වභාවික විපතින් මියගිය පිරිසකගේ සිරුරු මේ වනවිට හමුව තිබෙනවා. එමෙන්ම අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වය අත්හරී

තායිවාන ජනාධිපතිනි සායි ඉං වෙන්, පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තායිවානයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂය පහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම හේතුවෙන් ජනාධිපතිනිය එම තීරණය ගෙන ඇති බවයි. එරට ප්‍රධාන වීපක්ෂය වන ක්වෝමින්ටැන්ග් පක්ෂය තායිපේ අගනුවර ඇතුළුව ප්‍රධාන නගර කිහිපයක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනාවා.

කොරෝනා නීති දැඩි කිරීමට අදාලව විරෝධතා

චීනයේ කොරෝනා නීති දැඩි කිරීමට එරෙහිව පැවැත්වෙන විරෝධතා උත්සන්න වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියයාමෙන් පසු විරෝධතා ආරම්භ වූ බවයි. පනවා ඇති දැඩි සංචරණ සීමා හේතුවෙන් ගින්න හටගත් අවස්ථාවේ පිටවීමට නොහැකිවීම හේතුවෙන් අදාළ පුද්ගලයින් මියගිය බව විරෝධතාකරුවන් සඳහන් කළ අතර ලොක්ඩවුන් කිරීම් ඉවත් කරන්නැයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියි. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමකට පැමිණීම හේතුවෙන් කොවිඩ් මැඩලීම සඳහා දැඩි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම ඵල රහිත බවයි.

Page 1 of 263
1 2 3 263