නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කළොත් නීති දැඩි වෙයි

September 17, 2023 - 9:48 AM
නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද තැනැත්තන්ට දැඩි දඬුවම් පැනවිය හැකි වන පරිදි නව නීති සකස් කර තිබෙනවා.

එම නීති සකස්කර ඇත්තේ ප්‍රේම සබඳතා පවත්වන අතරතුර දී ලබා ගන්නා පුද්ගලික සහ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන, එම සබඳතා නතරවීමෙන් අනතුරුව හිරිහැර කිරීමේ අදහසින්, වෙනත් තැනැත්තන්ට බැලීමට හැකි වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණින් බව සඳහන්.

එයට අදාළ නීති ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් එය ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඒ අනුව එවැනි වරදකට පළමු වරට හසුවන තැනැත්තකුට වසර පහක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට යටත් කළ හැකියි.

එමෙන්ම එවැනි වරදකට දෙවැනි වරට හෝ නැවත නැවත හසුවන යම් තැනැත්තකුට අදාළ දඬුවම් හෝ දඩ මුදල් දෙගුණයක් කරනු ලැබීමට හෝ දඬුවම් සහ දඩ මුදල යන දෙකම හෝ එය දෙගුණයක් කිරීමට හැකියාව පවතින බව සඳහන්.
(lknews.lk)