අල්ලස් හා දූෂණ චෝදනා 89කින් 45ක්ම විසි වෙයි

September 19, 2023 - 7:42 AM
අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් පවරා තිබූ නඩු 89 න්, 45 ක් විවිධ හේතූ මත ඉල්ලා අස්කරගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, විගණිත දිනය වූ 2022 වර්ෂයේ දෙසැම්බර් මස 19 වැනිදා වනවිට නැවත නඩු පවරා තිබුණේ ඉන් 20 කට පමණක් බවයි.

එසේම, 2021 වර්ෂයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස් හා දූෂණ නඩු 69 ක් අවසන් කර තිබූ අතර, ඉන් නඩු 40 ක් ඉල්ලා අස්කරගෙන තිබූ බවද විගණන වාර්තාවේ සඳහන්.

මින් නඩු 18 ක චූදිතයන් නිවැරදිකරුවන් වී තිබූ අතර, වැරැදිකරුවන් වී තිබුණේ නඩු 11ක චූදිතයන් පමණයි.

මේ පිළිබඳ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත්තේ, 2022 වර්ෂයේදී ඉල්ලා අස්කරගත් නඩුවලින් 20 කට නැවත නඩු පවරා ඇති බවයි.

09කට නඩු නොපැවරීමට තීන්දුකොට ඇති අතර 14 ක් සඳහා නඩු පැවැරීමට කටයුතු කරමින් සිටින බවද ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කර තිබෙනවා.

ඉතිරි නඩු දෙකෙහි සාක්ෂිවල පරස්පරතා පවතින බැවින් නඩු පැවැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවද ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කර ඇති බව සඳහන්.
(lknews.lk)