යුක්රේනයේ සාමය වෙනුවෙන් සෙලෙන්ස්කි ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලයි

March 27, 2025 - 8:56 AM
තම දේශයට සාමය උදාකර ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම ඉල්ලීම කර ඇත්තේ යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති උරුගොඩවත්ත දිසානායක එරට ශ්‍රී ලංකා තානාපතිනිය වශයෙන් යුක්රේන ජනාධිපතිවරයා හමුවී අක්තපත්‍ර ප්‍රදානය කළ අවස්ථාවේදීයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එරට ජනාධිපති කාර්යාලයේ දී පැවැති මෙම හමුවේදී ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ යුක්රේනයට සාමය ගෙන ඒම සඳහා ඒකාබද්ධ උත්සාහයන් ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බවයි.

ශ්‍රී ලංකා තානාපතිවරිය සමඟ කළ සංවාදයේදී, යුක්රේන ජනාධිපතිවරයා, යුක්රේනය එක්සත් ජනපද නියෝජිතයන් සමඟ ඵලදායී සාකච්ඡාවල නියැළී සිටින බවත් හැකි ඉක්මනින් සාමය ළඟා කර ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කර තිබෙනවා.

(lknews.lk)