අකුණු සහ වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ 24ක් මරුට

November 28, 2023 - 8:42 AM

ඉන්දියාවේ අකුණු සැර වැදීමෙන් සහ පවතින අධික වර්ෂාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

එම මරණවලින් 18 ක්ම අකුණු සැර වැදීම නිසා සිදුව ඇති බවයි එරට නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ගුජරාට් ප්‍රාන්තයට ගිගුරුම් සහිත වැසි සහ හිම කැට වර්ෂාවක් ඇතිව තිබෙන අතර ඇතැම් ප්‍රදේශවලට පැය 24 තුළ මිලිමීටර් 144 දක්වා තද වර්ෂාපතනයක් ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

වර්ෂාවෙන් බටහිර ගුජරාට් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වයක් පවතින අතර නිවාසවලට හානි සිදුව ඇති බව සඳහන්.
(lknews.lk)