කොළඹ 30%ක් සරම්ප එන්නත ප්‍රතික්ෂේප කරයි

January 08, 2024 - 3:33 PM
සරම්ප අමතර මාත්‍රාව ලබා නොගත් අටසිය පනස් දෙදෙනෙකු කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සිටින බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසනවා.

එය ප්‍රතිශතයක් ලෙස 30%ක් බවයි ඔහු කියා සිටියේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙරට සරම්ප රෝගය තුරන් කර ඇති බවට ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක වුවද ගෙවුණු වසරේ අවසන් මාස හත තුළ පමණක් සරම්ප රෝගීන් 700කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබුණා.

ඉන් රෝගීන් සියයට 50ක්ම වාර්තා වන්නේ කොළඹ නගරය ආශ්‍රිතව බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.

ඔවුන් බහුතරයක් එන්නත් ලබා නොගත් හෝ එන්නත්කරණය සම්පූර්ණ නොවූ දරුවන් ලෙසට හඳුනාගෙන තිබුණා.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත පසුගිය සෙනසුරාදා අවදානම් දිස්ත්‍රික්ක 9ක් මුල්කර ගනිමින් අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබා දීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මකවූ අතර, එදින ද අමතර මාත්‍රාව ලබා නොගත් දරුවන් විශාල පිරිසක් සිටින බවට හඳුනාගෙන තිබෙනවා.

වැඩි අවදානමක් පවතින කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සරම්ප අමතර මාත්‍රාව ලබාදීමේ වැඩසටහනේදී වයස මාස 6 ත් 9 ත් අතර දරුවන් 1,268 දෙනෙකුට එම මාත්‍රාව ලබාදීම ඉලක්කය වී තිබූ අතර, ඉන් සියයට 70 ක්ම එන්නත්කරණයට ලක් කළ බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි කියා සිටියේ.
(lknews.lk)