මධ්‍යම තැපැල් හුවමාරුවේදී මිලියන 43ක මත්ද්‍රව්‍ය තොගයක් හමු වෙයි

December 06, 2023 - 8:34 AM

තැපැල් මාර්ගයෙන් මෙරටට එවන ලද රුපියල් මිලියන 43කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සොයාගෙන තිබෙනවා.

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරීවලදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකපිට පාර්සල් 25ක සිදුකළ පරීක්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි රේගුව සඳහන් කළේ.

එම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වල සිට කොළඹ, මහරගම, බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගේ ලිපිනයන් වෙත එවා තිබූ ඒවා බව සඳහන්.

කෙසේවෙතත් අදාළ ලිපිනයන් ව්‍යාජ ඒවා බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

එහිදී Methamphetamine අඩංගු Ecstasy නමැති මත්පෙති 2193ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1740ක් සහ Amphetamine ග්‍රෑම් 29ක් සොයාගෙන ඇති බව සඳහන්.  

වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.
(lknews.lk)