පාසලේ සිසුන්ට ටියුෂන් දුන් ගුරුවරුන් 51කට දඬුවම්

January 17, 2024 - 12:35 PM
පාසලේ තම පන්තියේ අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් මුදල් අය කර උපකාර පන්ති නොපවත්වන ලෙස චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබියදීත් ඊට පටහැණිව කටයුතු කරමින් මුදලට පන්ති පැවැත් වූ මධ්‍යම පළාතේ පාසල් ගුරුවරු 51 දෙනකු ඔවුන් සේවය කළ පාසල්වලින් වෙනත් පාසල්වලට මාරු කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.

ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි හා සිංහල විෂයන් සඳහා මුදල් අයකර පාසලේ තමන්ගේම පන්තියේ සිසුන්ට අමතර පන්ති පවත්වන ගුරුවරු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී තිබුණු පැමිණිලි පදනම් කර ගනිමින් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ගේ උපදෙස් මත විශේෂ චක්‍රලේඛයක් පසුගිය වසරේ ජුනි මස නිකුත් කරනු ලැබුණා.

මෙම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් ඇතැම් ගුරුවරු අමතර පන්ති පවත්වන බවට ලද තොරතුරු මත අදාළ ස්ථාන වැටලීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැටලීම් ඒකකයක් ද ස්ථාපිත කරනු ලැබුවා.

ඇතැම් ගුරුවරු තම පන්තියේ දරුවන්ට තමන්ගේ අමතර පන්තියට සහභාගි වන ලෙස බලපෑම් කරන බවට ද අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී ඇති බවටයි වර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු විගස වැටලීම් ඒකකයේ කණ්ඩායමක් අදාළ ස්ථානවලට යොමු කර තොරතුරු ලබා ගැනීමෙන් පසු විධිමත් විමර්ශනයක් සිදු කර චක්‍රලේඛය උල්ලංඝනය කළ ගුරුවරුන් වෙනත් පාසල්වලට මාරුකර යැවීමට පියවර ගෙන ඇති බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
(lknews.lk)