ජලාශවලින් සියයට 95ක් පිටාර මට්ටමට

November 24, 2023 - 11:15 AM
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශවලින් සියයට 95ක් ම මේ වනවිට පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූවේ, අම්පාර ප්‍රදේශයේ ජලාශ කිහිපයක් හැරෙන්නට දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජලාශ පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙසේ පිටාර මට්ටමට පැමිණ ඇති බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 263ක් පවතින අතර එයින් ප්‍රධාන පෙළේ ජලාශ 73න් 34ක් ම ඊයේ (23) සවස වන විටත් පිටාර ගලමින් පැවති අතර සෙසු ජලාශ ද පිටාර මට්ටමට ළඟා වී ඇති බව සඳහන්.

මීට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින සමනළ වැව ජලාශය වසර 10කට පසු ඊයේ වාන් දැමූ අතර කාසල්රී ජලාශය වසර 3කට පසුව පිටාර මට්ටමට ළඟා වුණා.

අදාළ තත්ත්වය මෙම මාසය තුළ තවදුරටත් අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(lknews.lk)