යුක්තියේ මෙහෙයුමෙන් අපරාධකරුවන් 963ක් අත්අඩංගුවට

January 19, 2024 - 12:33 PM
ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 963ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 638ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 325ක් සමගින් මුළු සැකකරුවන් 963 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 638 දෙනා අතරින් සැකකරුවන් 10කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 8ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවද සඳහන්.

එමෙන්ම මෙම මෙහෙයුම ඔස්සේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 25ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 325දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 66ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 228ක්ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 20ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 11ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුමේදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,

හෙරොයින් 300 g
අයිස් 172 g
ගංජා 530 g
ගංජා පැල 99,209 ක්
මාවා 336g
මදන මෝදක 314g
මත්පෙති 24,083ක්
(lknews.lk)