දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

January 17, 2024 - 3:31 PM

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමට අනුගමනය කළ ක්‍රමවේදය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(17) ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම පෙත්සම්කාර දුමින්ද සිල්වා මහතාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය දුමින්ද සිල්වාට ජනාධිපති සමාවදීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම්, විභාග කිරීමෙන් අනතුරුව ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

2011 වසරේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2016 වසරේ දී දුමින්ද සිල්වා තවත් සිව් දෙනෙකු සමග මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබුවා.

2019 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුමින්ද සිල්වාට පමණක් සමාව ලබා දීමටයි කටයුතු කලේ.

ඒ අනුව දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
(lknews.lk)