මෙරට තුළ ලබාදී ඇති ගිනි අවි බලපත්‍ර පිළිබඳ අනාවරණයක්

December 06, 2023 - 8:25 AM
මෙරට තුළ ගිනි අවි 37,000කට පමණ මේ වන විට බලපත්‍ර ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණි ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් විසින් මේ බව ප්‍රකාශ කළා.

එහිදී අනාවරණය වුණේ, 1996 අංක 22 දරණ ගිනි අවි (සංශෝධන) පනත හා පුපුරණ ද්‍රව්‍ය (සංශෝධන) පනත සංශෝධනය කිරීම සදහා 2012 වසරේ සිට කාරක සභාව මගින් නිර්දේශ කර තිබුණද එය විවිධ හේතුමත පමා වී ඇති බවටයි.

මේ වන විට සංශෝධිත පනත් කෙටුම්පත අවසන් අදියරේ පවතින බැවින් කඩිනමින් එම කටයුතු අවසන් කරන බව ඔවුන් කෝපා කමිටුව හමුවේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම බලපත්‍ර ගාස්තු සංශෝධනය කළ යුතු බැවින් මෙම ප්‍රමාදය ඔස්සේ රාජ්‍ය ආදායම අහිමි වීම සිදුවන බැවින් එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව කමිටුවේ දී අවධාරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටුව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
(lknews.lk)