කෑම බෙදා හරින මුවාවෙන් මත්ද්‍රව්‍ය බෙදීමේ ජාවාරමක්

January 15, 2024 - 1:52 PM

ජංගම දුරකථන යෙදුමක් හරහා කෑම බෙදාහැරීම් සිදුකරන මෙරට ප්‍රධාන ආයතනයක සේවය කරන බවට, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී අයිස්, හෙරොයින් සහ ජීව උණ්ඩ කිහිපයක් ද සොයාගෙන ඇති බව සඳහන්.

අදාළ වැටලීම සිදු කර තිබුණේ කිරුළපන පොලිස් වසමේ එඬේරමුල්ල, සෙන් ජූඩ් මාවතෙන් විජයකුමාරතුංග මාවතට හැරෙන හංදිය අසලදීයී.

සැකකරු කිරුළපන ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයක්.

ඔහු සතුව තිබී සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය අයිස් ග්‍රෑම් 357යි, මිලි ග්‍රෑම් 800ක්, හෙරොයින් ග්‍රෑම් 50යි, මිලි ග්‍රෑම් 300 ක් වන අතර 9X9 mm වර්ගයේ උණ්ඩ 37 ක් හා විද්‍යුත් තරාදි 03 ක් ද සොයාගෙන තිබෙනවා.
(lknews.lk)