ජනාධිපති සහ ජෝන් කෙරී අතර හමුවක්

January 18, 2024 - 2:07 PM
නාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඇමරිකානු ජනාධිපතිවරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ නියෝජිත ජෝන් කෙරී අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදීයි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකාව සහ එහි නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකාව ඊයේ හමුවී තිබුණා.

මේ අතර තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ, ඉන්දීය කර්මාන්ත සමූහය සහ ලෝක ආර්ථික සමුළුව විසින් සංවිධාන කරන ලද වටමේස සාකච්ඡාවට එක්වෙමින්.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධි ධාරිතාවයෙන් යුතු ද්වි දිශා විදුලි සම්බන්ධතාවයන් ඇති කිරීම සඳහා එකගතාවක් පවතින බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍රවලට අයත් ප්‍රමුඛ පෙළේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමග පැවති මෙම වටමේස සාකච්ඡාවේදී සැපයුම් දාමවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සෞඛ්‍ය සේවා, පාරිභෝගික නිෂ්පාදන, විදුලි සංදේශ සේවා සහ හරිත බලශක්ති වැනි ක්ෂේත්‍රවල පවතින අයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
(lknews.lk)