බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල ගැන අලුත් කතාවක්

November 10, 2023 - 9:22 AM

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කළ ඓතිහාසික වටිනාකමක් සහිත මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල අදාළ වියදම් වූ මුදල ලබාගෙන දළදා මාළිගාවට පැවරීමට හෝ වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පැවති නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අමාත්‍යවරයා අදාළ උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කඩිනමින් සකස් කිරීමට ද එහිදී තීරණය වී තිබෙනවා.

අලුත්වැඩි‍යාවෙන් පසු මේ වන විට මෙම බන්ධනාගාර ගොඩනැගිල්ල කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන වසරකට ආසන්න කාලයක් පවතින බැවින් මෙම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද එහිදී අවධාරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම විවිධ ප්‍රදේශවල මේ වන විට අතරමග නැවතී ඇති නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබදව ද අවධානය යොමු වී ඇති අතර මීට මාස තුනකට පෙර මන්ත්‍රීවරු මෙම කාරක සභාවට ඉදිරිපත් කළ ගැටලු තවමත් විසඳී නොතිබීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීන් මෙම ගැටලු සඳහා කාර්යක්ෂම ලෙස මැදහත්ව විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.
(lknews.lk)