උසස් පෙළ ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්

December 21, 2023 - 1:32 PM
උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයැදුම්පත් භාර ගැනීම හෙටින් (22) අවසන් වන බව ජනාධිපති අරමුදල සඳහන් කරනවා.

මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 01 සිට ආරම්භ කර තිබෙනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දිවයිනේ අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50ක් බැගින් තෝරාගෙන, සිසුන් 5000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ලබා දෙන බවද සඳහන්.

2022(2023) වර්ෂයේදී අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට, විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා තිබීම, රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවක වීම, ඉල්ලුම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 100,000ක් නොඉක්මවීම මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට මූලික සුදුසුකම් ලෙස සඳහන් වෙනවා.

මේ සඳහා වන අයදුම්පත්‍රය සහ ඊට අදාළ විස්තර, ජනාධිපති ලේකම් කාර්යාලයේ presidentsoffice.gov.lk ජනාධිපති අරමුදලේ presidentsfund.gov.lk සහ ජනාධිපති මාධ්‍ය අංශයේ pmd.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකියි.
(lknews.lk)