උසස් පෙළ ඇරඹෙයි

January 04, 2024 - 8:22 AM
අද (04) සිට මේ මස 31 වැනිදා දක්වා විෂයන් 64ක් සඳහා පැවැත්වෙන මෙම විභාගයට මධ්‍යස්ථානය 2,298ක් ස්ථාපිත කර ඇති අතර ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් පිහිටුවා තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගයට අපේක්ෂකයන් 346,976ක් අයදුම් කර ඇති අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් වන අතර 65,531ක් පෞද්ගලික අයදුම්කරුවන් වනවා. 

පොළොන්නරුව, වැලිකන්ද, අරලගංවිල හා දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසවල පදිංචි උසස් පෙළ විභාග අපේක්ෂකයන් සඳහා පොළොන්නරුව මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ විශේෂ විභාග මධ්‍යස්ථානය පිහිටුවා තිබෙනවා.
 
ඒ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන්. 

ඒ අනුව අදාළ අධ්‍යාපන කොට්ඨාසවල විභාග අපේක්ෂකයන්ට මෙම විද්‍යාලයේ පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට හැකියි. 
 
විභාග අපේක්ෂකයන්ට යම් හදිසි ආපදාවක් ඇති වුවහොත් 117 ක්ෂණික දුරකතන අංකයට හෝ 011-3668020, 011-3668100, 011-3668013, 011-3668010 දුරකතන අංකවලට කතා කර දැනුම් දිය හැකි වනවා. 
 
උසස් පෙළ විභාගයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319ක් පිහිටුවා ඇති අතර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අලුතින් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන දෙකක් ලෙස පස්සර ලුනුමාල මධ්‍ය මහා විද්‍යාලය සහ කැකිරාව ගල්කිරියාගම මහා විද්‍යාලය ස්ථාපිත කර ඇති බවත් ඒ අනුව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 321ක් පිහිටුවා ඇති බවත් නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා පැවසුවා. 
(lknews.lk)