පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිදුවන බවට පළවන වාර්තා ගැන නිවේදනයක්

January 23, 2024 - 9:03 AM
පාර්ලිමේන්තුව තුළ සේවිකාවන්ට මෙන්ම ඇතැම් මන්ත්‍රීවරියන්ට ලිංගික හිංසන නිරන්තරයෙන් සිදුවන බවටත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමට සහ පියවර ගැනීම සිදු නොකරන බවට පළ වන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ විනය කඩකිරීම්වලට අදාළ සිදුවීම් වාර්තාවීමේ දී ඊට අදාළ විමර්ශන කටයුතු කථානායකවරයාගේ මගපෙන්වීමෙන් ඉතා අපක්ෂපාතීව සිදුවන බවයි.

එමෙන්ම කඩිනම් විමර්ශන සදහා කථානායකවරයා සිය උපරිම දායකත්වය ලබා දෙන බවත් කිසිදු අයුරකින් බාධා කිරීමක් හෝ බලපෑමක් සිදු නොකරන බවත් මහලේකම්වරිය අවධාරණය කරනවා.

කෙසේ වෙතත් මීට පෙර සේවිකාවන් කිහිප දෙනෙකුට ලිංගික හිරිහැර සිදු වූ බවට වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් පත්කළ අභ්‍යන්තර කමිටුව විසින් අපක්ෂපාති විමර්ශනයක් සිදුකර ඇති අතර එහි විමර්ශන වාර්තාව මේ වන විට තමා වෙත භාර දී ඇති බවයි ඇය පැවසුවේ.

එමෙන්ම ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන ප්‍රධාන නිලධාරියා මේ වන විට වැඩ තහනමකට ලක්ව ඇති අතර මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කර නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් ඇය ප්‍රකාශ කළා.

මේ අනුව ඊට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගැනීමට නියමිත බවයි කුෂාරි රෝහණදීර මහත්මිය පෙන්වා දෙන්නේ.
(lknews.lk)