ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

November 12, 2023 - 4:00 PM
කොළඹ මහනගර සභා සීමාව, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දෛනික ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ අද (12) දින කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල දින 5 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්ද සංවිධානය කර ඇති බවයි.

මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඉදිරියේදී තවදුරටත් ඩෙංගු අවධානමක් පැවතිය හැකි බවත්, ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ තමන් අවට පවතින මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කරන ලෙසයි.

මේ වන විට දිවයින පුරා වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැත්තදහසේ සීමාව පසු කර තිබෙනවා.

මේ මාසය වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2300 ක්.
(lknews.lk)