දුරගමන් සේවා බස් රථවලට පහසුකම් සපයන ආපනශාලා පිළිබඳ නිවේදනයක්

April 07, 2025 - 11:12 AM
දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සොයාබැලීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු බව බස් සංගම් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ආපන ශාලාවන් හි ආහාර අපිරිසිදු වීම සහ වැසිකිළි කැසිකිළි පහසුකම් ගුණාත්මකභාවයෙන් තොරව පවත්වාගෙන යන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ආහාර පාන ප්‍රශ්නය සහ සෞඛ්‍ය ප්‍රශ්නය වසර ගණනාවක් පුරා පවතින බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

මේ අතර,පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පැවසූයේ දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල වැඩිමිලට ආහාර සපයන බවට ලද පැමිණිලි හේතුවෙන් එවැනි ස්ථාන වැටලීමට කටයුතු කරන බවයි.

අදාළ ආපනශාලාවන් හි ආහාර පාන සහ භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම සහ වැඩිමිලට අලෙවි කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වන බව එහි පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියා.

උත්සව සමයේ සිදුකරනු ලබන වැටලීම්වලට සමගාමීව එවැනි ආපන ශාලාවන් පරික්ෂා කර ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.


(lknews.lk)