ලුණු ආනයනයට අනුමැතිය

December 19, 2024 - 12:06 PM
අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක උපරිමයකට යටත්ව මෙරටට ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් 2025 වර්ෂයේ පළමු කාර්තුවේදී දේශීය වෙළඳපොලේ ලුණු හිඟයක් ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා පිළියමක් ලෙස පවතින තීරු බදු අනුපාතය අනුව අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ලුණු නිෂ්පාදකයන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව 2025-01-31 වන දින හෝ ඊට පෙර කාල සීමාව තුළදී සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මඟින් ආනයනය කරන ලුණු දේශීය නිෂ්පාදකයන් හරහා වෙළඳපොළට සැපයීමට නියමිතයි.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)