ලෝක කුසලාන අවසාන මහා තරගය අදයි

November 19, 2023 - 10:59 AM
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය පැවැත්වෙන්නේ සත්කාරක ඉන්දියාව සහ ප්‍රභල ඔස්ට්‍රේලියාව අතරයි.  

කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය ඔක්තෝබර් 5වැනිදා ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම ලෙස නවසීලන්තය සමඟ පැවැති පළමු අවසන් පූර්ව තරගය ජය ගත් රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් අපරාජිත ඉන්දීය කණ්ඩායම සිය ස්ථානය වෙන්කර ගනු ලැබුවා.

මෙවර තරගාවලියේ සිටින එකම අපරාජිත කණ්ඩායම වන ඉන්දියාව අද මුහුණ දෙන්නේ සිය සිව්වැනි ලෝක කුසලාන එක්දින අවසන් මහා තරගයට වීම විශේෂත්වයක්.

ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 5කදී, කුසලානය දිනා ගැනීමේ ගෞරවය තමන් සතුකරගෙන සිටින ඔස්ට්‍රේලියාව මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කරමින්.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරග 2ම පරාජයට වුණා.

ඉතිරි තරග සියල්ල ජය ගත් ඔවුන් මෙවර එක්වන්නේ ඔවුන් ක්‍රීඩා කරන 8වැනි ලෝක කුසලාන අවසන් මහා තරගයටයි.

මෙම තීරණාත්මක අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

ඒ, අහමදාබාද්හි, නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයි.

තරගය වෙනුවෙන් ක්‍රීඩා පිටිය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(lknews.lk)