නව ආයෝජන කලාප සංවර්ධනයට කැබිනට් අනුමැතිය

January 10, 2024 - 10:41 AM

නව ආයෝජන කලාප සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව උතුරු, නැගෙනහිර, වයඹ සහ දකුණු පළාත් තුළ නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමට එහිදී යෝජනා වී ඇති බව සඳහන්.

එමෙන්ම තවත් යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇත්තේ මාන්කුලම්, පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගම් පරිශ්‍රය සහ කන්කසන්තුරේ සිමේන්තු සංස්ථා පරිශ්‍රය පිහිටි ප්‍රදේශවල නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමයි.

එමෙන්ම රණවිල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල නව ආයෝජන කලාප ඉදිකිරීමට ද ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති අතර බිංගිරිය හා හම්බන්තොට ආයෝජන කලාප තවදුරටත් පුළුල් කිරීම ද මේ හරහා සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව යෝජිත ආර්ථික කලාප ඇති කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණ සහාය දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළකර තිබෙනවා.

ඒ සඳහා සුදුසු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘතියක් පදනම් කර ගනිමින් එකී ආයෝජන කලාප සංවර්ධනය කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.
(lknews.lk)