නිසිලෙස රාජකාරී කළ අධිකරණ වෛද්‍යවරයා විශ්‍රාම යයි

September 11, 2023 - 12:50 PM
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයකම රාජකාරී කළ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා හදිසියේම විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ රාජකාරී කිරීමට විවිධ පාර්ශවවලින් එල්ල වන බලපෑම් හේතුවෙන්.

ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ, ඔහු සේවය කරන පාලනාධිකාරිය ඔහුට විරුද්ධව කටයුතු කිරීමයි.

පසුගිය ජුනි 25 වනදා අංගොඩ මානසික රෝහලේ රෝගියෙක් එහි ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහල් කාර්යය මණ්ඩලය පහරදීමෙන් මිය යාමට අදාළව අධිකරණ වෛද්‍ය වාර්තාව නිකුත් කර ඇත්තේ මෙම විශේෂඥ වෛද්‍යවරයා විසින්.

එමෙන්ම ස්ත්‍රී දූෂණ ඇතුළු ආන්දෝලනාත්මක මරණ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම මොහුගේ සේවයට බලපෑම් එල්ල කරන තොරතුරු බවට පත් වී තිබෙනවා

එම බලපෑම් මත සිය කාර්යය මණ්ඩලය පවා මාරු කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තමන්ගේ රාජකාරී කටයුතු නිසි ආකාරයෙන් සිදු කිරීමට නොදීම නිසා තවත් වසර 7ක් සේවය කිරීමට හැකියාව පවතින විටදී මෙලෙස විශ්‍රාම ගෙන ඇති බව සඳහන්. 
(lknews.lk)