පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කෙරේ

January 24, 2024 - 6:54 PM
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පති (D.I.G.) තනතුරට උසස් කර තිබෙනවා.

නිහාල් තල්දූව 1992 වර්ෂයේ පොලිස් සේවයට බැදී ඇති අතර 1999 වර්ෂයේ දී පොලිස් පරීක්ෂක ධුරයට උසස් වීම් ලබා තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස 2006 වර්ෂයේ උසස්වීම් ලද මොහු සහකාර පොලිස් අධිකාරී නිලයට 2008 වර්ෂයේ උසස්වීම් ලබා ඇති බවද සඳහන්.

එමෙන්ම 2016 වර්ෂයේ දී පොලිස් අධිකාරී නිලයට උසස් වීම් ලද නිහාල් තල්දූව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලෙස 2018 වර්ෂයේ උසස්වීම් ලබනවා.

මීට අමතරව මොහු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය, ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය, අපරාධ කොට්ඨාශය, පොලිස් මාධ්‍ය කොට්ඨාශය යන කොට්ඨාශයන්හි අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර තිබෙනවා.

නිහාල් තල්දූව 2021.08.16 වන දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසද පත්වීම් ලබනවා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාණිජ විශේෂවේදී උපාධියක් හදාරා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මොහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිව්රුම් දී තිබෙනවා.
(lknews.lk)