සියයට 18කින් විදුලි ගාස්තු වැඩිවන ලකුණු

October 19, 2023 - 10:08 AM
පවතින තත්ත්වය හමුවේ 18% විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බව එම විදුලිබල මණ්ඩලය පවසනවා. 

රුපියල බිලියන 32 ක අලාභය පියවීම සඳහා මීට පෙර 22%ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බවයි විදුලිබල මණ්ඩලය පුරෝකථනය කළේ. 
 
මේ වසරේ ජුලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකළ අතර මීළඟ සංශෝධනය එළඹෙන ජනවාරි මාසයට යෙදී තිබියදී මේ මාසයේ සිට යළිත් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබුණා. 
 
ඒ අනුව ඔවුන් අනුමැතිය ඉල්ලා තිබුණේ සියයට 22කින් ගාස්තු වැඩි කිරීමට හෝ විදුලි ඒකකයක් රුපියල් 8 කින් වැඩිකිරීමටයි. 
 
කෙසේවෙතත් එලෙස ඉල්ලූ ගාස්තු වැඩිවීම, සංශෝධිත වාර්තාවක් යළි යොමු කරන ලෙස දැනුම්දෙමින් මහජන උපයෝගිතා කොමිසම කරුණු 3ක් මත ප්‍රතික්ෂේප කළා. 
 
දෛනික විදුලි ඉල්ලුම පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා අඩුවීම, ජලවිදුලි උත්පාදනය පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඉහළයාම සහ ගල්අඟුරුවල පුරෝකථනය කළ පිරිවැය පහළයාම එම කරුණු තුනයි. 
 
නමුත් ලංකා විදුලිබල මණ්ඩලය යළි දැනුම්දී ඇත්තේ අපේක්ෂිත ප්‍රතිශතයෙන් ගාස්තු වැඩි නොකළහොත් මණ්ඩලයේ පාඩුව පියවාගත නොහැකි වනු ඇති බවයි. 
 
ඔවුන් මේ බව ප්‍රකාශ කළේ මහජන උපයෝගිතා කොමිසම ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ යෝජිත විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අදහස් විමසීමේ වැඩසටහනේදීයි. 
 
මෙම කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව විදුලි ගාස්තු වැඩි කිරීමට අවසරදීම හෝ නොදීම සම්බන්ධයෙන් හෙට තීරණය කිරීමට නියමිතයි.
(lknews.lk)