ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවදානමක්

March 16, 2024 - 10:01 AM
ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය, ඉතාලි රියදුරු බලපත්‍රයක් බවට පත් කිරීමේ ක්‍රමය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් අභියෝගයකට ලක්ව සිටිනවා.

එම වැඩසටහන වසර 2ක පමණ කාලයක සිට ක්‍රියාත්මක නොවන බවයි ඔවුන් කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය, ඉතාලි රියදුරු බලපත්‍රයක් බවට පත් කිරීමේ ක්‍රමය හරහා විශාල පිරිසකට ඉතාලියේ රියදුරන් ලෙස රැකියා අවස්ථා ලැබී තිබෙනවා.

නමුත් පවතින තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ, ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයක් බවට පත් කිරීමට දෙරට අතර ඇතිකරගත් එකඟතාව අවසන් වී ඇති බවයි.

මේ වන විට එම ගිවිසුම අලුත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරත් සඳහන් කළේ.
(lknews.lk)