මාර්තු මාසයේ අපනයන ආදායම ඉහළට

May 02, 2025 - 9:57 AM
මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මාර්තු මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තාකර ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8.1 වර්ධනයක්.

එහිදී දැක්වෙන්නේ ආනයන වියදම මේ වසරේ මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,637ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 8.6ක වර්ධනයක් බවයි.

මේ වසරේ මාර්තු මාසයේදී මෙරටට ලැබුණු විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 693ක් වන අතර එය ඕනෑම වසරක මාර්තු මාසයකදී වාර්තාවූ ඉහළම මාසික විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය බව මහ බැංකුව පෙන්වා දෙනවා.

මේ වසරේ මාර්තු මාසයේදී සංචාරක ඉපැයිම් ඇමරිකානු ඩොලර් මිලියන 354ක් වන අතර මාර්තු මාසය තුළ සංචාරකයින් 229,298 දෙනෙක් මෙරටට පැමිණ තිබුණා.

මහ බැංකුව පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් මේ වසර ආරම්භයේ සිට අප්‍රේල් මස අවසානය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 2.3කින් අවප්‍රමාණය වී ඇති බවයි.

(lknews.lk)