ඉදිරි වසරේ ආහාර උද්ධමනය අඩු වෙයි

November 10, 2023 - 11:20 AM

ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

එසේම අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ආහාර ද්‍රව්‍යවල මිල 2024 වර්ෂයේ දී කොපමණ දුරට පාලනය කළ හැකි ද යන්න පිළිබඳව වැටහීමක් ලබාගැනීම සඳහා මේ වන විට ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබෙන බවයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ‍සඳහන් කළේ ආහාර මිල සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අප විසින් අවධානය යොමු කළ කාරණා කිහිපයක් තිබෙනවා යනුවෙනුයි.

ඒ වගේම තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කිරීමේදී රටට අවශ්‍ය බදු ප්‍රමාණය රැස් කරගැනීම සඳහා ද තීන්දු කිහිපයක් ගැනීමට සිදුවු බවත් එහිදී මුදල් අමාත්‍යාශය විසින් සීනි සඳහා ශත 25ක් ලෙස පැවති බද්ද රුපියල් 50 දක්වා යළි වැඩි කරනු ලැබු බවත් පැවසුවා.

එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 275ක පාලන මිලක් හඳුන්වාදීමට ද කටයුතු කර ඇති අතර සීනී ආනයනයකරුවන් 14 දෙනාගෙන් 12 දෙනෙකු සතුව අවශ්‍ය සීනි තොග පවතින බව ද දැනුම් දෙනු ලැබුවා.

එම සීනි තොග අවසන් වන තුරු ඔවුන්ගේ ගබඩා පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් දිනපතා නිරීක්ෂණය කරන බවත් සීනී සඳහා වන පාලන මිල වන රුපියල් 275ට වැඩියෙන් අලෙවි කරන වෙළඳුන් වැටලීම සඳහා ද නිළධාරින් දැනුවත් කර ඇති බවයි ඔහු පවසන්නේ.
(lknews.lk)