HIV සහ හෙපටයිටිස් රෝහල් වලින් සමාජගතවීමේ අවදානමක් මතුවෙයි

October 16, 2023 - 10:56 AM
දැනට රෝහල්වලට බෙදා හැර ඇති මානව ප්‍රතිදේහ මගින් HIV, හෙපටයිටිස් – B සහ C වැනි රෝග සමාජගත වීමේ අවදානමක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

ඒ,නිසි ක්‍රමවේදයෙන් බැහැරව වංචනික අයුරින් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ මානව ප්‍රතිදේහ, රෝගීන්ට ලබා දීම හේතුවෙන්.

හොර පාරෙන් ගෙන්වා ඇතැයි සැක කරන මෙම මානව ප්‍රතිදේහ කුප්පි 8,000ක් පමණ මේ වනවිට රෝගීන්ට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ. ඩී. කේ. එස්. එන්. යසවර්ධන මහතා මේ බව සඳහන් කළා.

ඔහු පැවසූවේ එය අවම වශයෙන් ප්‍රතිශක්තිය ඉතාමත් අඩුවී මරණ අවදානමේ සිටින රෝගීන් දහසකටවත් ලබා දෙන්නට ඇතැයි සැක කෙරෙන බවයි.

පවතින තත්ත්වය යටතේ මේ එන්නත ලබාදුන් සියලු රෝගීන් පිළිබඳව පරීක්ෂා කිරීම වහා ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතු බව ද වෛද්‍යවරයා සඳහන් කළා

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අනාවරණය කළේ, 1990 ආසන්න කාලයේ මෙලෙස ප්‍රතිදේහමය ඖෂධ මගින් යුරෝපයේ හෙපටයිටිස් C රෝගය පැතිර යාමේ අවදානමක් මතු වූ බවයි.
(lknews.lk)