ICC ක්‍රිකට් තහනම ඉවත් කිරීම අලුත් කතාවක්

January 11, 2024 - 3:36 PM
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) තහනම පෙබරවාරි 15 වැනිදාට පෙර ඉවත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
 
ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවූ ICC ප්‍රධාන විධායක නිලධාරී Geoff Allardice මහතා සමඟ ඵලදායි සාකච්ඡාවකින් අනතුරුව ICC තහනම ඉවත් කරනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළා. 
 
එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ ICC නියෝජිත පිරිස පසුගියදා කොළඹ පැවති සාකච්ඡා පිළිබඳව සෑහීමකට පත් වූ බවත්, ඔවුන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකාවේ තරග තහනම ඉවත් කිරීමට කොළ එළියක් ලබා දුන් බවයි.
 
ICC නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ව්‍යවස්ථාව පිළිබඳව දැනුවත්ව සිටි බවත්, ICC ආචාරධර්ම පද්ධතියට ගැලපෙන පරිදි රෙගුලාසි සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා පැවසුවා. 
 
වත්මන් ක්‍රීඩා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා ද කැමැත්ත පළ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
 
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ සංචාරක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
(lknews.lk)