සෞඛ්‍ය වෘත්තීයවේදීන් යළි අනතුරු අඟවයි

January 21, 2024 - 1:45 PM

තාවකාලිකව නතර කළ සෞඛ්‍ය වැඩවර්ජනය පෙබරවාරි 01 දින නැවත ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72ක සහභාගීත්වයෙන් පැවති විශේෂ සමුළුවක දී ගත් ඒකමතික තීන්දුවකට අනුව මෙලෙස යළි වර්ජනයක නිරත වීමට තීරණය කළ බවයි එම සන්ධානය ප්‍රකාශ කළේ.

පසුගියදා ද ඔවුන් වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කළ අතර එහිදී රෝගීන් දැඩි අසීරුතාවයකට පත් වුණා.

ඔවුන්ගේ ඉල්ලීම වූයේ වෛද්‍යවරුන් ට වැඩි කළ රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙසටයි.

වර්ජනය අතරවාරයේ වැඩබලන මුදල් අමාත්‍යවරයා විසින් වෘත්තීය සමිති වෙත සාකච්ඡාවක් ලබා දුන් අතර, විදේශගතව සිටින ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන බවට එහිදි අමාත්‍යවරයා එකඟ වී තිබුණා.

ඒ අනුව අදාළ වෘත්තීය සමිති විසින් වර්ජනය තාවකාලිකව නතර කිරීමටයි පියවර ගත්තේ.

එවන් පසුබිමක ඔවුන් යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත්තේ, බරපතළ අසාධාරණ තීන්දු ගනිමින්, අනවශ්‍ය වර්ජනයක් වෙත සෞඛ්‍ය සේවාව තල්ලුකර දැමූ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයට විරෝධය දැක්වීමේ අරමුණින්.

ඒ අනුව ලබන පළමු වනදා සිට දිවයින පුරා යළි වර්ජන සහ විරෝධතා සිදු කිරීමටත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් තීරණය කර තිබෙනවා.
(lknews.lk)