පොලිස් නිලධාරීන් ගැන පැමිණිලි කිරීමට ක්ෂණික අංකයක්

October 17, 2023 - 6:51 PM
පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කිරීම සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ක්ෂණික ඇමතුම් අංකයක් විවෘත කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ 118 හදිසි ඇමතුම් අංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විශේෂ ඒකකයක් බවයි. 
 
රට තුළ සිදුවන විවිධ අපරාධ, මත්ද්‍රව්‍ය ආදිය පිළිබඳව පොලිසියේ අවධානයට යොමු කළ යුතු තොරතුරු මෙම ක්ෂණික ඇමතුම් අංකය හරහා සාමාන්‍ය ජනතාවට ලබාදිය හැකියි. 
 
තවද, පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහි පැමිණිලි ද 118 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දිය හැකි වනවා. 
 
පොලිස් නිවේදනයේ දැක්වෙන්නේ ඔත්තුකරුවන්ට තම අනන්‍යතාවය හෙළි කිරීමේදී හෝ නිර්නාමිකව සිටියදී තොරතුරු සැපයිය හැකි බවයි. 
 
එම දුරකථන අංකය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව පවසමින් එම දුරකථන අංකයට ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන බවට පොලිසිය සහතික වනවා.
(lknews.lk)