ඕස්ට්‍රේලියාවට ලකුණු 241ක ඉලක්කයක්

November 19, 2023 - 6:23 PM
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර මේ වන විට පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 240ක් පමණයි.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කේ. එල්. රාහුල් පන්දු 107කදී එක් හතරේ පහරක් පමණක් එල්ලකරමින් ආරක්‍ෂිත ඉනිමක් දියත් කරමින් ලකුණු 66ක් රැස්කරගත්තා.

පන්දු 63කදී හතරේ පහර 4ක් සමග විරාත් කෝලි ලකුණු 54ක් රැස්කළා.

නායක රෝහිත් ශර්මා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 47ක් රැස්කරගත්තා.

ඉන්දීය පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට කිසිදු ඉඩක් නොදුන් ඔස්ට්‍රේලියා පන්දු යැවීමේ බලඇණිය විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවුණා.

එහිදී අගනා පන්දුයැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් පන්දුවාර 10ක් යොමුකරමින් කඩුලු 3ක් දවා ගනු ලැබුවා.

පැට් කමින්ස් පන්දුවාර 10කදී ලකුණු 34ක් යොමුකරමින් කඩුලු 2ක් දවා ගැනුමට සමත්වුණා.

තරගය පැවැත්වෙන්නේ අහමදාබාද්හි, නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
(colombotimes.lk)