IPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹේ

December 19, 2023 - 2:38 PM
Update: ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක Mitchell Starc ඉන්දීය රුපියල් මිලියන 247.5කට කොල්කටා නයිට් රයිඩර්ස් මිලදී ගැනීමෙන් අනතුරුව IPL ඉතිහාසයේ මිල අධිකම ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වුණා.

ඒ අනුව Pat Cummins වැඩිම මිලක් නියම වූ ක්‍රීඩකයින් අතර දෙවන ස්ථානයට පත් වුණා.


2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ඩුබායිහිදී පැවැත්වෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි එකහමාරකට මිලදී ගෙන තිබුණා.

මේ දක්වා වෙන්දේසි වූ ක්‍රීඩකයින් අතරින් පැට් කමින්ස් අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම ගෙවීමක් කරමින් සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගත්තා.

ඒ ඉන්දීය රුපියල් කෝටි 20.5 කටයි.

මීට පෙර අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම ගෙවීමක් සිදුකරමින් මිලදී ගෙන තිබුණේ ඉන්දීය කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං වන අතර, දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම විසින් 2015 වර්ෂයේදී ඉන්දීය රුපියල් කෝටි 16 කට ඔහු මිලදී ගෙන තිබුණා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලොව පුරා ක්‍රීඩකයින් 333 දෙනෙක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් 119ක් සහ ඉන්දිය ක්‍රීඩකයින් 214ක් ඇතුළත්.

මෙවර IPL වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 8 දෙනෙක්.

වනිඳුට අමතරව මෙවර වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙන සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ ඩිල්ෂාන් මධුෂංක ,කුසල් මෙන්ඩිස් ,චරිත් අසලංක, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, ලහිරු කුමාර සහ නුවන් තුෂාරයි.

මෙම ක්‍රීඩකයින් වෙනුවෙන් මූලික ලංසුව ලෙස ඉන්දිය රුපියල් ලක්ෂ 50 බැගින් තබා තිබෙනවා.

කෙසේ වෙතත් මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකරම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම රඳවා ගන්නට පියවර ගත්තා.
(lknews.lk)