ගෙවුණු පැය 24 තුළදීත් 'යුක්තිය' ඔස්සේ 955ක් අත්අඩංගුවට

January 23, 2024 - 11:02 AM

යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 955ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 633ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 322ක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 633 දෙනා අතරින් සැකකරුවන් 07කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන 03ක් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 17 ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 28ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 322 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 42ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 243 ක්ද සිටිනවා.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 23ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 14 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ.

හෙරොයින් 187g
අයිස් 126g
ගංජා 14 kg 700 g
ගංජා පැල 28,277
මාවා 148 g
මදන මෝදක 102 g
මත්පෙති 136
(lknews.lk)