යාපනයේ ඩෙංගු හිස ඔසවයි - සිසුවියක් ජීවිතක්ෂයට

December 25, 2023 - 4:55 PM
උණ රෝගය වැළදී රෝහල් ගත කළ යාපනය විශ්වවිද්‍යාලීය සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසයි.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසර අධ්‍යාපනය ලැබූ ගුණරත්නම් සුබීනා නමැති සිසුවියක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඩෙංගු උණ රෝගය වැලඳුන සිසුවිය යාපනය තෙලිප්පලෙයි රෝහලට පළමුව ඇතුළත් කොට ඇති අතර, එහිදි වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී සිදුකොට ඇති අතර, ඩෙංගු උණ රෝගය සමඟ හටගත් සංකූලතාවයකින් ඇය මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

යාපනය රෝහල තුළ මේ වන විට ඩෙංගු රෝගීන් 114 දෙනෙකු නේවාසික ප්‍රතිකාර වෙනුවෙන් ඇතුළත්ව ඇති බව යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා කියා සිටියා.

පැවති වැසි තත්ත්වය සමඟ යාපනය දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, තමන් අවට පරිසරය පවිත්‍රව තබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙසටද රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීම් කළා.
(lknews.lk)