දිස්ත්‍රික්ක 05කට අනතුරු ඇඟවීම්

December 30, 2023 - 3:09 PM
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05කට නාය යෑමේ අනතුර ඇඟවීම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, මහනුවර, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා විමසිලිමත් විය යුතු මට්ටමේ සහ අවධානය යොමු කළ යුතු මට්ටමේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

මෙම අනතුර ඇඟවීම් නිවේදනය අද (30) පස්වරුව දක්වා වලංගු බව එම සංවිධානය සඳහන් කරනවා.

මේ අතර, ඊයේ (29) රාත්‍රියේ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දුම්රිය මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් එකක් පමණ දුරින් වූ ප්‍රදේශයකට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇති අතර, දුම්රිය සේවකයින් සහ යුද හමුදාව එක්ව මාර්ගය යළි යථාතත්වයට පත්කර ඇති බව වාර්තා වනවා.
(lknews.lk)