අමාත්‍ය විජිත හේරත් වතිකානය බලා පිටත්ව යයි

April 25, 2025 - 11:51 AM
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉටිහාඩ් ගුවන් සේවයට අයත් යානයකින් අමාත්‍යවරයා අබුඩාබි ගුවන්තොටුපොළ වෙත ගොස් එතැන් සිට තවත් ගුවන්යානයකින් වතිකානය බලා පිටත්ව යෑමට නියමිතයි.

මේ අතර ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන අයද වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙරට කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වීමට නියමිතයි.

මේ අතර පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන හෙට (26) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.


(lknews.lk)