දැඳුරු ඔය ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්

October 30, 2023 - 12:29 PM
දැඳුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ (29) රාත්‍රී කාලය පුරා ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට දැඳුරු ඔය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 14,000ක් නිකුත් කරමින් පවතින බවයි.

ඒ අනුව මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව සඳහන්.

මේ හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසූවා.

මේ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ට කල්පනාකාරීව අවශ්‍ය පියවර ගන්නා ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
(lknews.lk)