නේපාලයේ TikTok තහනම, ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම යයි

December 06, 2023 - 9:38 AM
TikTok සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට නේපාල රජය ගත් තීරණයට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සම් 16ක් ගොනු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ TikTok තහනම් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින්. 
 
කෙසේවෙතත් TikTok තහනම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ගොනු කරමින් නේපාලයේ අගමැති පුෂ්ප කමල් දහාල් ප්‍රකාශ කර ඇත්තේ එරට ඇති විය හැකි සමාජ අර්බුදයන් වළක්වා ගැනීමට මේ තහනම අත්‍යවශ්‍ය වූ බවයි. 
 
එමෙන්ම TikTok තහනම් කිරීමට රජය පියවර ගනු ලැබුවේ එහි ක්ෂණික හා දිගු කාලීන බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් මත බවත්, එය සමාජ රෝගයක් සහ වසංගතයක් බවට පත්වී ඇති බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා. 
 
ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කළේ TikTok සමාජ මාධ්‍ය ජාලයේ අහිතකර බලපෑම්වලින් සමාජය සහ ජාතිය ආරක්ෂා කිරීමට මේ පියවර ගත් බව නේපාල අගමැතිවරයා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා තිබෙන බවයි.
(lknews.lk)